Sunday, May 19, 2013

... නුඹ ආයෙමත් ඇවිදින් ..



වසා සිටි නෙත් පියන් ඇරුණා .. 
සොඳුරු මතකෙක සුවඳ දැනුණා .. 
සවන්පතකට කොඳුරමින් සිත 
දෙදරුවාලූ ආත්මීගත 
හඬ කාගෙදැයි
යළිත් සිතුණා ..

මලක් දෙතොලින් සිඹින්නක් සේ
පරිස්සමකින් සිඹී දෙකොපුල්
සිතේ සරතැස නිවන්නා සේ
සිතට දැනුණා ..
නුඹ මගේ යැයි
මම නුඹේමයි
සිත් මලට හැඟුණා ..

කුණාටුවකට හසුවෙලා සිටි
අඳුරු හෝරා නිමයි මෙතෙකින්
නුඹේ දිවියම මගේ යැයි
සවනතට ඇසුණා ..
හද පුරා දිව්
සෙනෙහසේ තාලය
නුඹෙන් දැනුණා ..

නුඹ ආයෙමත් ඇවිදින්
සත් වසරකට පෙර
නුඹ හදේ ලිව් ගී
තනුව සොයමින් ..
නුඹ ආයෙමත් ඇවිදින් ...

No comments:

Post a Comment