Monday, May 20, 2013

.. සීතල වැස්සක් ..

වහිනවා .. 
සීතලම සීතල වැස්සක්  

නවතින්නෙම නෑ .. 

තුත්තිරි ගස්
ගං වතුරෙන් වැහිලා ගිහින් ..
එහෙන් මෙහෙන් පුංචි පුංචි
දිය පාරවල්
හැම තැනම ..

අකීකරු සිතුවිළි වගෙයි ..
ඇරඹුමක් .. අවසානයක් නෑ ..

සීතල වැස්සෙන්
නෙත ඉවතට ගත්තත්
හිත තාම එතනමයි ..

එකමත් එක දවසක
මේ වගේම සීතල වැස්සක
දඟ කර කර
ඔයත් එක්ක ගියපු හැටි
මතක් වෙලා ..

මගෙ හිත
වැහි වතුරත් එක්ක
සෙල්ලම් කරනවා ..

හීගඩු පිපෙන සීතල
මතක් කරලා දෙනවා
ආදරේ උණුසුම ..

ඔයාට තරම් ම නැති වුණාට
වැස්සටත් මං ආදරෙයි .

Sunday, May 19, 2013

... නුඹ ආයෙමත් ඇවිදින් ..



වසා සිටි නෙත් පියන් ඇරුණා .. 
සොඳුරු මතකෙක සුවඳ දැනුණා .. 
සවන්පතකට කොඳුරමින් සිත 
දෙදරුවාලූ ආත්මීගත 
හඬ කාගෙදැයි
යළිත් සිතුණා ..

මලක් දෙතොලින් සිඹින්නක් සේ
පරිස්සමකින් සිඹී දෙකොපුල්
සිතේ සරතැස නිවන්නා සේ
සිතට දැනුණා ..
නුඹ මගේ යැයි
මම නුඹේමයි
සිත් මලට හැඟුණා ..

කුණාටුවකට හසුවෙලා සිටි
අඳුරු හෝරා නිමයි මෙතෙකින්
නුඹේ දිවියම මගේ යැයි
සවනතට ඇසුණා ..
හද පුරා දිව්
සෙනෙහසේ තාලය
නුඹෙන් දැනුණා ..

නුඹ ආයෙමත් ඇවිදින්
සත් වසරකට පෙර
නුඹ හදේ ලිව් ගී
තනුව සොයමින් ..
නුඹ ආයෙමත් ඇවිදින් ...

Saturday, February 2, 2013

දවල් හීන ..



අවසන් අසුනේ කොනටම වී නුඹ
සරා සිහින මල් අතුරනවා
නුඹේ සිනහ මට නොවේය සිතමින්
අසුනින් අසුනට මම යනවා
තිරිංග පාරට ගැස්සෙන ඔය ළැම
මොකක්ද රහසක් පවසනවා
මා නෙත ඔබ හා යාවුණ විගසම
ඔබෙ නෙත් වෙනතක හරවනවා
නුඹෙ උණුසුම රැඳි විස්සෙ කොළය මම
පරිස්සමට අරගෙන තබලා
තිරිංග යෙදු රිය නතර කළේ ඇයි
පස්සෙ දොරින් බැලුවෙමි එබිලා
බස් නැවතුම ළඟ නැවතුණු බසයට
ගොඩවුණු නාඹර රුව දැකලා
විසල් වෙච්ච හැටි නුඹෙ ඔය ඇස් දෙක
තාමත් පෙනෙනවා මට මැවිලා
නුඹේ අසුන ළඟ තිබුණු ඉඩක ඔහු
වාඩි වුණ ගමන් තුරුල් වෙලා
ඔබෙ ඔය රතැඟිළි දෑතට සිරකර
රහසින් මොනවද පවසාලා
පැයක් තිස්සෙ මම මැවු ඒ හීනය
තත්පරයෙන් ඔහු බොඳ කරලා
ඊළඟ නැවතුමෙ නැවතුණු බසයෙන්
ඔහුත් ඔබත් දෙන්නම බැහලා ..
___________
ඒ .. ඈ බං උඹ හීන බලනවද
ටිකට් රෝලකුත් බදාගෙන ..
නැගිටහං ..
%*^)(*_$^)+_&*^(#$^*(
____________
හමගිය ඩෙනිමේ සාක්කුවෙන් ගත්
මාරු කාසි අත පුරවාලා
පා පුවරුව වෙත පා යොමු කළ මා
නැවතත් කටහඬ අවදි කලා ..
...........
ඔටුවො ඔටුවො .. පිටෝටුවො ..
ඔටුවො ... !!