Monday, May 20, 2013

.. සීතල වැස්සක් ..

වහිනවා .. 
සීතලම සීතල වැස්සක්  

නවතින්නෙම නෑ .. 

තුත්තිරි ගස්
ගං වතුරෙන් වැහිලා ගිහින් ..
එහෙන් මෙහෙන් පුංචි පුංචි
දිය පාරවල්
හැම තැනම ..

අකීකරු සිතුවිළි වගෙයි ..
ඇරඹුමක් .. අවසානයක් නෑ ..

සීතල වැස්සෙන්
නෙත ඉවතට ගත්තත්
හිත තාම එතනමයි ..

එකමත් එක දවසක
මේ වගේම සීතල වැස්සක
දඟ කර කර
ඔයත් එක්ක ගියපු හැටි
මතක් වෙලා ..

මගෙ හිත
වැහි වතුරත් එක්ක
සෙල්ලම් කරනවා ..

හීගඩු පිපෙන සීතල
මතක් කරලා දෙනවා
ආදරේ උණුසුම ..

ඔයාට තරම් ම නැති වුණාට
වැස්සටත් මං ආදරෙයි .

Sunday, May 19, 2013

... නුඹ ආයෙමත් ඇවිදින් ..



වසා සිටි නෙත් පියන් ඇරුණා .. 
සොඳුරු මතකෙක සුවඳ දැනුණා .. 
සවන්පතකට කොඳුරමින් සිත 
දෙදරුවාලූ ආත්මීගත 
හඬ කාගෙදැයි
යළිත් සිතුණා ..

මලක් දෙතොලින් සිඹින්නක් සේ
පරිස්සමකින් සිඹී දෙකොපුල්
සිතේ සරතැස නිවන්නා සේ
සිතට දැනුණා ..
නුඹ මගේ යැයි
මම නුඹේමයි
සිත් මලට හැඟුණා ..

කුණාටුවකට හසුවෙලා සිටි
අඳුරු හෝරා නිමයි මෙතෙකින්
නුඹේ දිවියම මගේ යැයි
සවනතට ඇසුණා ..
හද පුරා දිව්
සෙනෙහසේ තාලය
නුඹෙන් දැනුණා ..

නුඹ ආයෙමත් ඇවිදින්
සත් වසරකට පෙර
නුඹ හදේ ලිව් ගී
තනුව සොයමින් ..
නුඹ ආයෙමත් ඇවිදින් ...